පසු දා භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරා එහි වැඩ, පණවා තුබුණු ආසනයෙහි හිඳගත් සේක. සිටු තෙමේ බුද්‍ධ ප්‍රමුඛ සංඝයාට ප්‍රණීත ආහාර පානයෙන් සත්කාර කොට ඉක්බිති එක් පසෙක හිඳ ගත්තේ ය. එසේ හිඳ ජේතවනය පූජා කළ යුතු සැටි විචාළේ ය. “එසේ වී නම් ගෘහපතිය, මෙහි පැමිණි නො පැමිණි සතර දිසා වැසි සංඝයා ජේතවනයෙන් පුදව”යි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.
“එහෙයි, වහන්ස” යි කියා අනේ පිඬු සිටු තෙම බුද්‍ධ වචනය පිළිගෙන ඒ ජේතවනාරාමය සංඝ සන්තක කෙළේ ය. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ විහාර දානයෙහි අනුසස් වදාරා නැගිට ජේතවනාරාමයට වැඩි සේක.
මේ ජේතවන පූජා දවසෙහි උසභ කුලපුත්, අධිමිත්ත බමුණු කුමර, භේරඤ්ඤකානි ගම් මුදලි, සබ්බමිත්ත බ්‍රාහ්මණ, කොසොල් රජ පුත් බ්‍රහ්ම දත්ත කුමරු, සිරිමන්ත කුළ පුත්, සිරිවඩ්ඨ කුලපුත්, උපවාන බ්‍රහ්මණ, අපර ගෝතම බ්‍රාහ්මණ, පසු කළ ඒකුද්දානිය නමින් ප්‍රකට වූ කුලපුත් ආදී බොහෝ ජනයෝ භාග්‍යවතුන් වහන්සේ දැක බණ අසා පැහැද පැවිදි වූහ. කොසොල් රජුන්ගේ පෙරෙවි බමුණු ගේ දූ වූ දන්තිකා ද තවත් බමුණු දුවක් වූ සකුලා ද තවත් බොහෝ ස්ත්‍රීහු ද බුදු සසුන්හි පැහැදී තෙරුවන් සරණ ගිය උපාසිකාවෝ වූහ.
භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර පළමු වරයෙහි නව මසක් පමණ කල් වුසු සේක. එ සෙමෙහි බොහෝ සිටුතුමා කුලපුත්තු සස්නෙහි පැහැදී පැවිදි වූහ. උපාසක පිරිස ද දින පතා වැඩි වූහ. මෙහි රත්නත්‍රයට දිවි පුදා ක්‍රියා කළ අනේ පිඬු සිටු යැ යි ප්‍රසිද්‍ධ සුදත්ත ගෘහපති තුමා ඒ මුළු උපාසක පිරිසේ අග්‍රස්ථානයට පත් විය. දවසකට දෙවරක් භාග්‍යවතුන් වහන්සේ දක්නට යෑමේ සිරිත එ තුමා කිසි දිනෙකත් නො කැඩුවේ ය.
“බුදුරජාණන් වහන්සේ ඉතා සියුමැලි සේක. මා යමක් ඇසුවෙන් “මේ සිටු මට බොහෝ උපකාරි යැ” යි සලකා භාග්‍යවතුන් වහන්සේ දම් දෙසන ස්ක. එසේ වෙන්නට ඉඩ තැබීම සිවුමැලි වූ උන්වහන්සේට වෙහෙස කිරීමකි.” යනු එ සිටුතුමාගේ අදහස විය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අධික ස්නේහ හේතුයෙන් හේ කිසි දිනෙකත් ප්‍රශ්න නො විචාරයි. සිටුහු ගේ අදහස දත් භාග්‍යවතුන් වහන්සේ ඔහු ආ සෑම වාරයෙහි කිසි ධර්ම කථාවක් කරන සේක.